චීනයට වසන්තය

Written by on February 15, 2018

මහජන චීන සමූහාණ්ඩුවට යළිත් වසන්තය උදාවෙලා. වසන්ත උදාවේ පළමු දිනය පෙබරවාරි 15 වෙනිදා. මෙතැන් සිට සතියක් පුරා චීන ජනතාව අවුරුදු සමරනවා.

ලෝකයේ විවිධ රටවල් අවුරුදු සමරන්නේ එක එක කාලෙට. එක එක තාලෙට. ශ්‍රී ලංකාවේ අපිට අවුරුදු ලබන්නේ අප්‍රේල් නැතිනම් බක් මාසයේදී.

චීනය අලුත් අවුරුදු ලබන දිනය තීරණය කරන්නේ චන්ද්‍ර වර්ෂ අනුව. වසර හාරදහසක් (4000) තරම් අතීතයක් කරා දිව යන මේ සම්ප්‍රදායික උත්සවය ඔවුන්ට අතිශය වැදගත්.

ඒ වැදගත්කම සමග පුරාවෘත්තයක් එක්ව තිබෙනවා. මේ වසන්ත උත්සවයේ ආරම්භය සටහන් වී ඇත්තේ ෂැං අධිරාජ සමයේදී. ඒ 17-11 සියවස් අතර. එසමයේ “නියාන්” නමැති භූතයකු ජනයාට හිරිහැර කරමින් ළමුන් සහ පශු සම්පත් ආහාරයට ගැනීම පුරුද්දක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා. මේ භූතයා රතු වර්ණයට සහ විශාල ශබ්දවලට බයයි. සාමාන්‍ය ජනතාව එම අමනුෂ්‍ය බලවේගයට එරෙහිව සටන් වදින්නේ රක්ත වර්ණය හා අධික හඬ සහිත උපකරණ භාවිත කරමින්. එතැන් සිට සෑම වසන්ත උත්සවයකදීම එම සටන සිහිපත් කෙරෙනවා. එම උත්සව සැමරුමේදී රතු පැහැය හා ගිනිකෙළි යොදාගන්නේත් එදා සිදුවීම සිහිගන්වන්නටයි.

චීන ජනතාවට මේ උත්සවය නිමිත්තෙන් සතියක කාලයක් නිවාඩු. ඉන් දින 3ක් නීත්‍යානුකූලව අනුමත නිවාඩු වීම විශේෂයි. පාසල් සිසු දැරියන්ට නම් මාසයක්ම නිවාඩු කාලේ.

හරියට ශ්‍රී ලාංකික අපිට වගේ. මේ කාලය පුරා ඔවුන් නෑගම් යනවා. පවුලේ සියලුම සාමාජිකයන් ඒකරාශී වෙලා කෑම බීම, නැටුම් ගැයුම් වලින් සතුටු වෙනවා.

සෑම නිවසකම සැරසිලි දකින්නට ලැබෙන්නේත් මේ කාලයේදී. චීන ජනතාවට අතිශය හුරුපුරුදු “ඩම්ප්ලින්” නමැති ආහාරය වසන්ත උත්සවයේදී නොවරදින කෑමක්. ශ්‍රී ලංකාවේ කැවුම්, කොකිස්, අතිරස අගේ. ඒ වගේම රතු පැහැ කවරවල බහා තෑගි පිරිනැමීමත් ඔවුන්ගේ සම්ප්‍රදායක්.

චීන ජනයා වසන්ත උත්සවයේදී විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරනවා. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ නොනගතය ගත කරනවා සේ චීන ජනතාවද එක්තරා කාලයක් තුළ කිසිදු වැඩක නොයෙදී සිටිනවා. බෙහෙතක් හේතක් නොකර ඉන්න හැකිනම් ඔවුන් එයටත් ඉතා කැමති. චීනයට අලුත් අවුරුද්ද එහෙමත් නැතිනම් වසන්තය එළඹෙන කාල සීමාවේදී නිවාස පිරිසිදු කිරීම, මුළුතැන්ගේ දෙවියන් පිදීම, සාප්පු සවාරි යාම, සෞභාග්‍යයේ දෙවියාට පුද පූජා කිරීම වගේම රාත්‍රී කාලයේදී රතු පැහැ පහන් කූඩු දැල්වීම වගේම ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම වැනි ක්‍රියාකාරකම් දකින්නට පුළුවන්.

පවුලේ දීග ගිය ගැහැනු දරුවන් ඔවුන්ගේ පවුලේ අය සමග මහගෙදර පැමිණීම වසන්ත උත්සවයේ අනිවාර්ය අංගයක්.

මහජන චීන සමූහාණ්ඩුව ප්‍රබල මගී ප්‍රවාහන සේවා ජාලයක් සහිත රාජ්‍යයක්. විශේෂයෙන් අධිවේගී දුම්..රිය මගී ප්‍රවාහන සේවාව. මෙමගින් වසන්ත සමය පුරා තමන්ගේ ගමන් බිමන් අවශ්‍යතා ඉටුකර ගන්න පිරිස කෝටි ගණනක්.

උදාවන සෑම වසරක්ම විශේෂිත සත්වයකුගේ නමින් නම් කිරීම චීන සම්ප්‍රදායක්. ඒක හරියට පෙරදිග ජනතාව මීන සිට මේෂ දක්වා රාශී දොළහක් පිළිගැනීම හා සමානයි.

මෙවර චීනයට උදාවූයේ සුනඛයාගේ වසර. පෙබරවාරි 16 වෙනිදා උදාවුණ සුනඛයාගේ වසර අවසන් වන්නේ 2019 වසරේ පෙබරවාරි 04 වෙනිදා.

සුනඛයා මිනිසාගේ සමීපතම මිතුරු සත්වයෙක්. මිනිසාගේ ගති ලක්ෂණ වහාම හඳුනාගැනීම සුනඛයා සතු දස්කමක්. මේ සතාට දුප්පත් පොහොසත් භේද නෑ. කුමන තරාතිරමක වුණත් ස්වාමියාට හිතවත්. චීන ජනතාව සුනඛයා සලකන්නේ සුබ වර්ගයේ සත්වයෙක් හැටියට. හදිසියේ හෝ නිවසකට සුනඛයෙක් ගොඩ වැදුනොත් එය වාසනාවේ සංකේතයක් කියලයි චීන ජනතාවගේ අදහස.

මීට අමතරව චීන ජනතාව එක් එක් වර්ෂය තවත් සතුන් එකොළොස්දෙනෙකුගේ නමින් නම් කරනවා. එතකොට හරියටම අපේ රාශි දොළහ වගේ. සුනඛයා සමග දොළහයි.

සූකරයා, ඔක්ස් නමැති ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා සහ සැවුලා එම සතුන් එකොළහට අයත් වනවා.

මහජන චීන සමූහාණ්ඩුවේ වසන්ත උත්සව සැමරුම එරටට පමණක් සීමාවන්නක් නොවෙයි. හොංකොං, මැකාවෝ, තායිවානය සහ ආසියාකරයේ සිංගප්පූරුව, ඉන්දුනීසීයාව, පිලිපීනය හා වියට්නාමයටත් චීන වසන්ත උත්සවයේ සතුට පැතිරෙනවා. අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව පවා ඒ අතර සිටිනවා. එපමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ අපිත්!


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST